Thursday, January 08, 2015

ආදරණීය ලොකු පුතේ...

ආදරණීය ලොකු පුතේ,

උඹ බලනව ඇති උඹේ තාත්ත වෙනද වගේ නෙමේ පහුගිය ටිකේ දකින දකින කෙනා එක්ක වාද කරන්නෙ මොකද කියල. පුංචි උඹට කළගුණ සලකීම, යහපාලනය වගේ දේවල් නොතේරුණත් උඹට හිතෙනව ඇති ලොසින්ජරයක්වත් හම්බවෙන්නෙ නැති දේකට උඹේ තාත්ත මෙච්චර වද වෙන්නෙ ඇයි කියල. ඒ හැම වාද විවාදයක්ම අවසානයේ ඒ හැමදේටම වඩා ප්‍රබලව පුංචි කතිරෙකින් අපේ තීරණය ප්‍රකාශ කරන දවස තමයි අද.

දෙදාස් අටේ උඹ ඉපදෙද්දිත් අපේ රට තිබුනේ තිස් අවුරුද්දක් පුරා තිබුන යුද්ධෙට අහුවෙලා. උඹට අවුරුද්දක් වෙද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මුළු රටම එකතුවෙලා යුද්ධෙ ඉවර කරා. කවුරු මොනව කිව්වත් ඒකෙ ගෞරවයෙන් විශාල කොටසක් මහින්ද මහත්තයට ලැබෙන්න ඕන, මොකද යුද්ධෙ පැරදුනානම් එකේ අපවාදය විඳින්න වෙන්නෙත් එතුමට නිසා. යුද්ධෙන් පස්සෙ අපි හැමෝම බලාපොරොත්තු උනේ යුද්ධෙ දිනපු වීරය ඒ එඩිතර කමින්ම රට සංවර්ධනය කරා ගෙනියයි කියල. උඹලට අපිට තිබුනට වඩා ලස්සන රටක් ඉතුරු කරයි කියල. ඒත් උනේ ඒකෙ අනික් පැත්ත. එතුමා කලේ ආසියාවේ ආශ්චර්යය කියල ආලවට්ටමක් පෙන්නන ගමන් රටේ තිබුණ හැම ආයතනයක්ම තමන්ගෙ හෙන්චයියන්ගෙ ග්‍රහණයට පත්කරල රට විනාශ කරපු එක, රට උගස් කරල උන්ගෙ සාක්කු පුරෝපු එක, රටේ නීතිය වෙනුවට අවනීතිය රජ කරවපු එක. මේ රටේ දහසකුත් උගත්තු දක්ෂ පරිපාලකයො ඉද්දි රටේ ජාතික ගුවන් සේවය ඕ ලෙවල්වත් පාස් නැති තමන්ගෙ මස්සිනාට බාරදීල රටට බිලියන ගානක් පාඩු කරපු එක, යුද්ධෙන් පස්සෙ රට ජාත්‍යන්තර තලයෙදි බේරගන්න හිටපු විදේශ සේවය උසාවියෙන් වැරදිකාරයෙක් වෙච්ච ඩීල් කාරයෙකුගේ භුක්තියට බාරදුන්න එක, අපේ විතරක් නෙමේ උඹලගේ පරම්පරාවත් චීනෙට ණයකාරයො කරල ගත්තු ණය වලින් විශාල ප්‍රමාණයක් ගසා කාපු එක වගේ දේවල් යුධ ජයග්‍රහණයෙන් වහන්නෙ කොහොමද කියල මටනම් තේරෙන්නෙ නැ මගෙ පුතේ. කොටින්ම කිව්වොත් මගේ අදහස අනුව මහින්ද මහත්තයට යුද්ධෙට විශිෂ්ට සාමාර්ථයක් ලැබුනට අනික් හැම සබ්ජෙක්ට් එකම ෆේල්.

මේ සමිකරණයේ අනික් පැත්තේ ඉන්න කට්ටිය වෙන වෙනම ගත්තම ඒගොල්ලන්ගෙ කැරැට්ටුව එච්චර හොඳ නෑ. අකාර්යක්ෂම චන්ද්‍රිකා, චන්ද දිනන්න බැරි රනිල්, අගමැතිකම නොදුන්න නිසා එළියට බැස්ස මෛත්‍රී වගේ අයගෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල කට්ටිය අහනව. ඒ  කතාවෙත් ඇත්තක් නැතුවාම නෙමෙයි. ඒත් පුතේ මේ වෙලාවෙ මහින්ද මහත්තයා ගෙදර නොයැව්වොත් උඹගේ පරම්පරාවට විතරක් නෙමේ අපේ පරම්පරාවෙ අයගේ ජීවිතේ ඉතිරි කොටසත් ගෙවන්න වෙන්නෙ ඒකාධිපති පාලනයක යටත් වැසියෝ වගේ කියන එක පැහැදිලියි. උඹෙත් මගෙත් මව්රට ණයවල හිලව්වට චීනෙට පවරාදෙන්න වෙන බව පැහැදිලියි. අවනීතිය, මිත්‍යාව, දූෂණය රටේ රජවෙනබව පැහැදිලියි. ඒක නිසා මෛත්‍රීපාල කියන පුද්ගලයා ගැන නෙමෙයි ඒ පිටිපස්සේ තියන ජනතා බලවේගය සහ වැඩපිළිවෙල ගැන විස්වාසය තියල මේ වෙලාවෙ හංසයා වෙනුවෙන් මම මගේ චන්දය ලබාදෙන්න මම තීරණය කළා. ඒ තීරණයෙන් ලැබෙන ප්‍රතිපල හොඳ වෙයිද නරක වෙයිද කියන්න මට මේ වෙලාවෙ බැරි උනත් මම දන්නවා මම ගන්නෙ මේ මොහොතේ ගන්න තියන හොඳම තීරණය. කවදාහරි දවසක උඹට හිතුනොත් උඹලගෙ පරම්පරාව මේ රටේ කොන්ද කෙලින් තියන් නිවහල් අදීන ජාතියක් හැටියට ජීවත් වෙන්නෙ උඹලගේ තාත්තල මේ ගත්තු තීරණය නිසා කියල, අපි දිනුම් මගෙ පුතේ.

මම,
උඹේ තාත්තා

Sunday, January 04, 2015

අපි මැට්ටෝය... අමුම අමු මැට්ටෝය...


අපට කුඩා කල සිට උගන්වා ඇත්තේ ලද දෙයින් සතුටුවන්නටය. එනිසා අප කරන්නේ මහන්සියට සරිලන වැටුපක්, අදායම් සාධාරණව බෙදීයන ක්‍රමයක් ලබාගැනීමට උත්සාහ දරනු වෙනුවට ලැබෙන සොච්චමෙන් බඩ බාගෙට කා ලද දෙයින් සතුටු වීමට උත්සාහ කිරීමය. ඒ මදිවාට බන්දුල ගුණවර්ධන වැනි ඇම්බැට්ටයින් විසින් තියරියට අනුව එසේ ජීවත් වන ආකාරය ගැන නොමිලේ දෙන උපදෙස් ලබා ගැනීමටද අප සුදානම්ය. වැඩිහිටියන්ට ගරු කළ යුතු නිසා වැඩිහිටියන් කියන දෑ හරි හෝ වේවා වැරදි හෝ වේවා හිස් මුදුනින් පිළිගැනීමටත් ඒ ගැන ප්‍රශ්න නොකරන්නටත් අපට බලකර ඇත. මෙනිසා වැඩිහිටි හිත් නොරිදා තම සිත් රිදවාගෙන මේඩ්ඩන් වන්නට ට්‍රයි කරන කලාකාමී දරුවන්න්, කදුළු බිබී පවුල් කන ආදරවන්තයින් අපේ සමාජයේ බහුලය. මොනවා උනත් සිවුරට සැලකිය යුතු නිසා විවිධාකාර අයි.ආර් .සී කාරයන්ට සිවුරක් ඇඟට දමාගෙන ජාතිවාදය වපුරන්නට කුණුහරප දේශනා කරන්නට ඉඩදී කරබාගෙන සිටිය යුතුය. ඔවුනට එරෙහිව යන්නේනම් අබ සරණ ලැබීමට සුදානම් විය යුතුය. වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් ඇති නිසා ඒ ඉතිහාසය ගැනම උදම් අනමින් අනාගතය අමතක කර දමන්නට අප හරිම කැමතිය. මහන්සි වී අනාගතය ගොඩනගනවාට වඩා අතීතය ගැන  තලුමැරීම ලෙහෙසිය පහසුය. බොහෝවිට අපි ආසියාවේ එකය ලෝකයේ එකය කියා පම්පෝරි ගසමින් ජාතියක් වශයෙන් ස්වයං වින්දනයේ යෙදීම අපේ විනෝදාන්ශයකි. හැබැයි අප පසුකර ලෝකය වේගයෙන් ඉදිරියට යනබවත් ඒ සමග යාමට යුහුසුළුව වැඩකළ යුතුබවත් අපට සිහිවන්නේම නැත. කළගුණ සැලකීම උතුම් ගුණයක් බව අපට කියාදී ඇත. එම නිසා අපේ දරුවන්ගේ අනාගතය උගස් තබා හෝ කළගුණ සලකන්නට අප පැකිලෙන්නේ නැත. මේ සියල්ල කරන අපට උදේ සිට රෑ වෙනතුරු ටීවී එකට රේඩියෝ එකට අරක්ගත් දේශපාලකයන් "බුද්ධිමත් ජනතාව" යැයි පුන පුනා කියන නිසා අපට ලොකු ආඩම්බරයක්ද ඇත. ඒත් අප බොරුවෙන් මුලා කල හැකි යළි යළිත් රැවටිය හැකි අමුම අමු මැට්ටන් බව උන් සක්සුදක් සේ දන්නාමුත් අපටනම් ඒ ගැන වගක්වත් නැත.

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්